සෙලෙන්ස්කි හෙට අමරිකාවට

රුසියාව විසින් සටන් විරාමයකට එකඟතාව පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

මේ අතර සාම ගිවිසුමකට එකඟ වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුකේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සටන් විරාමයක් සඳහා ඉදිරිපත් වන ඉල්ලීම් රැසක් රුසියාව විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

තම ‍රටේ සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකරන ප්‍රහාර නැවැත්වීමට රුසියාව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු පවසනවා.

රුසියාවේ මෙවැනි ක්‍රියා හේතුවෙන් යුක්‍රේන යුද්ධය තවදුරත් සංකීර්ණ කරන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දෙන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හෙට දින අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර වෙත පැමිණිමට ද නියමිතයි.