
විශ්ව සාහිත්‍යයේ කීර්තියට පත් ලේඛක අර්නස්‌ට් හෙමිංවේ විසිවැනි සියවසේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලේඛකයන් අතරින් කෙනෙක්. ඔහුගේ නවකතා සහ කෙටිකතා ලෝක සාහිත්‍යයේ ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර ඒවායින් කිහිපයක් සිංහල භාෂාවටත් පරිවර්තනය වී තිබෙනවා. ඔහුගේ ජීවන චරිතය අසාමාන්‍ය වූ අතර ඒ පිළිබඳ තාමත් හෙළි නොවූ තොරතුරුද තිබෙනවා. “නොනිමි අරගලයක්” ලෙස ජීවිතය අර්ථ දැක්වූ අර්නස්ට් මිලර් හෙමිංවේ උපදින්නේ 1899 වර්ෂයේ ජුලි 21 වැනිදා ය. ඒ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නගරය අසල ඕක් පාක් හි දී ය.
පළමු ලෝක යුද්ධයේ දී ඉතාලියේ සටන් පෙරමුණේ ගිලන්රථ රියැදුරෙක් ලෙස සේවය කළ ඔහුට යුද්ධයේ දී ප්‍රහාරයට ලක් වීමෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබන්නට සිදුවෙනවා. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පුවත්පත් ලේඛකයෙක් ලෙසත්, බොක්සිං ක්‍රීඩකයෙක් හා දඩයම්කරුවෙක් ලෙසත් වරින් වර කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ මුල්ම පොත්, වැඩි පිරිසකගේ අවධානයට යොමුවන්නේ නෑ. අලෙවිය අතින් ද ඒවා එතරම් සාර්ථක වන්නේ නෑ. ඔහුගේ පොත් අතරින් කාගේත් කතාබහට ලක්වූ ප්‍රථම නවකතාව වූයේ 1926 වසරේ එළි දැක්වුණු “ද සන් ඕල්සෝ රයිසස්” (The Sun also Rises) නම් කෘතියයි. එය ඇමරිකානු සාහිත්‍යයේ සුවිශේෂ වූ කෘතියක් හැටියට සැළකෙනවා. පසුව ඔහු “ටොරන්ට්‌ස් ඔෆ් ස්‌ප්‍රිං” (The Torrents of Spring) යන ග්‍රන්ථය එළිදක්වනවා. 1927 දී “මෙන් විතවුට්‌වුමන්”( Men Without Women) යන කෙටි කතා සංග්‍රහයද ප්‍රකාශයට පත් කළා. හෙමිංවේගේ තවත් මුල් කාලීන කෘතියක් වුණු 1929 දී ප්‍රකාශයට පත් වූ “ෆෙයාර් වෙල් ටු ආම්ස්” (A Farewell to Arms) කෘතිය අෙමරිකානු සාහිත්‍ය තුළ ප්‍රසාදයට පත්වූ අතර යුද්ධය හා සාමය පසුබිම් කරගෙන ලියැවී ඇති එයට ඉතාලි යුද්ධ පෙරමුණේ දී ඔහු ලැබූ අත්දැකීම් පසුබිම් වී තිබෙනවා.
පසු කලෙක පදිංචිය සඳහා කියුබාවට සංක්‍රමණය වන ඔහු වසර 30ක කාලයක් පුරා කියුබාවේ ජීවත් වුණා. කියුබානු ධීවරයන් ඔහුගේ හොඳ මිතුරන් බවට පත්වුණා. ඔහු, ඔවුන් සමඟ ගැඹුරු මුහුදේ මසුන් මරන්නට පවා ගියා. එවැනි අත්දැකීම් පාදක කරගනිමින් ඔහු 1952 දී “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” (The Old Man and The Sea) කෘතිය රචනා කළා. “මිනිසා විනාශ කළ හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය” යන ඔහුගේ අදහස මේ පොතෙන්ද ඔහු අපූරුවට විදහා දක්වනවා. මෙම පොත වඩා ජනප්‍රිය වීම හේතුවෙන් අෙමරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන පුලිස්ටර් සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. 1954 වසරේ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය හෙමිංවේ විසින් හිමිකරගන්නේ “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී” කෘතියටයි. 1952 දී ග්‍රන්ථයක් ලෙස එළි දැක්වූ “ද ස්‌නෝස්‌ඔෆ් ක්‌ලිමන්ජාරෝ ” (The Snows of Kilimanjaro) නමැති කෙටිකතා සංග්‍රහයටද ලැබුණු පාඨක ප්‍රතිචාර ඉහළ යි.
ඔහුගේ විවාහ ජීවිතය සම්පූර්ණයෙන් අසාර්ථක එකක්. පළමු බිරිඳගෙන් වෙන් වී දෙවන විවාහයක්ද අනතුරුව තෙවන හා සිව්වන විවාහ ද ඔහු විසින කරගනු ලබනවා. හතරවන විවාහය සාර්ථක වන්නේ ඇය ඉතාමත් ඉවසිලිවන්ත කාන්තාවක් වූ හේතුවෙන් බව හෙමිංවේ පසුව ප්‍රකාශ කර තිබුණා. අවසානයේ කියුබාව අතහැර යන ඔහුට පරම්පරාගත මානසික රෝගයකින් පිඩා විඳින්නට සිදු වෙනවා. ඉන් පසු දිවියේ විවිධ වෙනස්කම් හේතුවෙන් රෝග ගණනාවකට ගොදුරු වී දැඩි මානසික අසහනයකට පත්වෙන ඔහුට තම ලිවීමේ හැකියාව පවා අහිමි වුණා. ආරක්ෂාව හා මුදල් පිළිබඳ දැඩි කනගාටුවෙන් පසු වූ හෙමිංවේ මානසික පීඩනයෙන් කල් ගෙව්වා.
වරක් දිවි නසා ගැනීමට තැත් කළ ඔහුව මායෝ ක්ලිනික් (Mayo Clinic) නම් මානසික වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු කර ප්‍රතිකාර ලබා දෙනු ලැබුවා. එහි දී ශරීරයට විදුලි සැර වද්දවා කරනු ලබන ප්‍රතිකාර නිසා නැවතත් සුවවී නිවසට පැමිණියා. නමුත් 1961 වසරේ ජූලි 2 වනදා ඔහු දිවි නසා ගන්නේ තම ගිනි අවියෙන් තමා විසින්ම වෙඩි තබා ගැනීමෙන්. මෙම මරණය ඔහු ගිනි අවිය පිසදමමින් සිටිය දී ඇති වූ අනතුරක් හේතුවෙන් සිදු වූ බව ඔහුගේ බිරිය විසින් ප්‍රකාශ කළත්, ඉන් මාස කිහිපයකට පසුව එය සියදිවි හානි කරගැනීමක් බව ඇය විසින් පිළිගනු ලැබුවා.