බණ්ඩාරගම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකුට මාංචු

බණ්ඩාරගම වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (21) වන දින බණ්ඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින්විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) දින දහවල් කාලයේ පානදුර දකුණ පොලිස් වසමේ මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 21 වයස්වල පසු වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් සන්තකයේ තිබී වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක්, ව්‍යාජ ගමන් බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් හා ආදායම් බලපත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු යුගලයක් පොලිස් භාරයට ගෙන ඇත.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.