ඉන්දියාව දන ගැස්වූ සිංහ ධේනුවන්

මෙරටදී පැවැත්වෙන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද ඉන්දියාව සමඟ පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සමග පැවති එක්දින තරගයක් ජය ගත්තේ, 2018 වසරින් පසුවයි.

තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 09ක් දැවී ලකුණු 275ක් රැස් කළා.

වැඩිම ලකුණු ලාභිනිය වූ රීචා ගෝෂ් ලකුණු 58යි. ජෙමියා රොඩ්‍රිගස් ලකුණු 37ක් සහ ප්‍රතිකා රාවල් ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි සහ චමරි අතපත්තු කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ, පන්දුවාර 49යි පන්දුවකදී කඩුලු 07ක් දැවී ලකුණු 278ක් රැස් කරමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලි ඉතිහාසයේ හඹාගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා ලකුණු 56ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53ක් රැස් කළා.

කවීෂා දිල්හාරි ලකුණු 35යි. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 9 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.