2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත්, අයවැය කථාව නොවැම්බර් මස 7 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
අයවැය පළමුවර කියවීම ලබන 26 වැනිදා සිදු කිරීමට නියමිතයි.
මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී.
මුදල් විෂයබාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුරකුමාර දිසානයක මහතා විසින් නොවැම්බර් 7 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව නොවැම්බර් 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 6 ක් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය කෙරුණා.
ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
අනතුරුව, නොවැම්බර් 15 වැනි දින සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා දින 17 ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6.00 අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමටද මෙහිදී එකඟත්වය පළ කෙරුණා.
