වාර්තා අලුත්කළ හිරු නොබසින අධිරාජ්‍යය

පූර්ණ ටෙස්ට් සාමාජිකත්වය හිමි රටකට එරෙහිව 20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ, ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ රට බවට පත්වීමට එංගලන්තය සමත්වුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගයේ දී.

තරග 3 කින් සමන්විත එංගලන්ත – දකුණු අප්‍රිකා, 20 -20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ දී පැවැත්වෙනවා. මැන්චෙස්ටර්හිදී පැවති දෙවැනි 20 – 20 තර‍ගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ, එංගලන්ත‍යයි. ඔවුන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 2 ක් දැවී ලකුණු 304 ක් රැස් කළා. එය වාර්තා වන්නේ, එංගලන්තය 20 – 20 ක්‍රිකට් තරගයක ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මේ අතර, 20 – 20 ක්‍රිකට් පි‍ටියේ තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර, පූර්ණ සාමාජිකත්වය හිමි රටක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. පිල් සෝල්ට් ලකුණු 141 ක් රැස් කළා. එය වාර්තා වන්නේ, දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්ත පිතිකරුවෙකු 20 – 20 තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මේ අතර, ඔහු තම ශතකය වාර්තා කළේ, පන්දු 39 කට පමණක් මුහුණ දෙමින්. එය, එංගලන්ත පිතිකරුවෙකු 20 – 20 තරගයක රැස් කළ වේගවත්ම ශතකයයි.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 16 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරිමට හැකිවුණේ, ලකුණු 158 ක් පමණයි. ඒ අනුව, එංගලන්තය තරගය ජය ගත්තේ,ලකුණු 146 කින්. එය වාර්තා වන්නේ, එංගලන්ත කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජයගත් 20 – 20 ජාත්‍යන්තර තරගය ලෙසයි.