ඇල්ලෙන් ප්‍රපාතයට ගිය බසයේ ගැටුණු ජීප් රියේ කැමරා පටිගත වීමේ පහසුකම නෑ

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා පද්ධතියේ පටිගත වීමේ පහසුකම් නොමැති බව ජීප් රථයේ මෙරට අලෙවි සමාගම විසින් ඇල්ල පොලීසියට ඊයේ (18) ලිඛිතව දැනුම් දී තිබේ.

බස් රථය ජීප් රථයේ ගැටී ප්‍රපාතයට පෙරළුණු ආකාරය ගැන වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් පොලීසිය මෙම රථයේ කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව එහි පටිගත වී ඇති කැමරාවේ දර්ශන විමර්ශන සඳහා පොලීසිය අධිකරණ නියෝගයක් මඟින් ඉල්ලා සිටියේය.

මෙම සුඛෝපභෝගී ජීප් රථය බොරලැස්ගමුව ප්‍රදේශයේ වාහන අලෙවි සැලකින් 2023 වසරේ දී එහි වත්මන් හිමිකරු විසින් මිලදී ගෙන තිබේ. එම සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක සජිවී කැමරා හතරක් ඇති අතර එම කැමරා රථය පදවන රියැදුරුගේ පහසුව තකා ක්‍රියාත්මක වන බව ද එහි සඳහන් වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මෙම සුඛෝපභෝගී ජීප් රථවල ආරක්ෂක කැමරාවල පටිගත කිරීමේ පහසුකම් ලබා ගැනීමට නම් අදාළ වාහන හිමිකරු සමාගමෙන් ඉල්ලා සිටිය යුතු බවත්, එසේ ඉල්ලීමක් කළ හොත් පමණක් එම සුඛෝපභෝගී ජීප් රථයේ කැමරාවලට පටිගත කිරීමේ මෘදුකාංග සවිකරන බවත් අදාළ සමාගම දැනුම් දී තිබෙන බවත් පොලීසිය සඳහන් කළේය.

මෙම ජීප් රථය කෝටි 8ක බැඳුම්කරයක් මත එහි ලියාපදිංචි අයිතිකරුට භාරදෙන ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා පෙරේදා (17) නියම කළේය.

ජීප් රථය අන්සතු නොකරන ලෙසත්, ජීප් රථයේ වර්ණය වෙනස් නොකරන ලෙසටත්, ජිප් රථය විකිණීම නොකරන ලෙසට ද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා ජීප් රථයේ ලියාපදිංචි අයිතිකරුට තරයේ දැනුම්දී ඇත.

මෙවැනි සුඛෝපභෝගී ජීප් රථ මිලදී ගන්නා බොහෝ වාහන හිමිකරුවන් රථයේ කැමරාවල පටිගත කිරීමේ මෘදුකාංග සවිකිරීමට ඉල්ලීම් නොකරන බවට අදාළ සමාගම මගින් දැනුම්වත් කර තිබෙන බව ද පොලීසිය පවසයි.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ, සහකාර පොලිස් අධිකාරි 111 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. කේ. යූ. ඩබ්ලිව්. අබේගුණවර්ධන, පොලිස් පරීක්ෂක එච්. පී. පාලිත, උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.