
ඉන්දියාවත් සහ පකිස්ථානයත් පූර්ණ හා හදිසි සටන් විරාමයට එකඟතාව පළ කර තිබෙනවා. දෙරට විසින් සිය ගුවන් හමුදා කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට එකිනෙකාට චෝදනා කරීමෙන් පැය කිහිපයකට පසුවයි, මෙම සටන් විරාමයට එකඟතාව පළ කර ඇත්තේ. ඊට එක්සත් ජනපදය මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරන බව ද සඳහන්.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසන්නේ, ඉන්දියාව සහ පකිස්තානය හදිසි සටන් විරාමයක් සඳහා එකඟතාව පළ කර ඇති බවයි. ඊට අදාළ කරුණු මාලාවක් සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයින් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු පවසනවා.අද අළුයම සිය ගුවන් හමුදා කදවුරු තුනකට ඉන්දීය මිසයිල ප්‍රහාර එල්ල වූ බවට චෝදනා කරමින් ‘ඔපරේෂන් බුන්යාන් මාසූස්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පකිස්ථාන හමුදාව පවසනවා. ඉන්දියාව එල්ල කළ බොහෝ මිසයිල ප්‍රහාර, සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බව පකිස්ථාන හමුදාව අවධාරණය කරනවා.
ඉන්දීය හමුදාව කියා සිටියේ, පකිස්ථාන ‘ඔපරේෂන් බුන්යාන් මාසූස්’ මගින් තම හමුදාවේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බවයි. එහිදී පකිස්ථාන හමුදාව අධිවේගී මිසයිල භාවිත කර ඇති බව ඉන්දීය හමුදාවේ කර්නල් සොෆියා කුරේෂි සඳහන් කළා. ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ උදම්පූර් සහ පන්ජාබ් ප්‍රාන්තයේ ‘පතන්කොට්’ යන ප්‍රදේශවල අද පිපිරීම් සිදුවූ බව වාර්තා වනවා. නවීන එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් විනාශ කිරීමට හැකි වූ බවත්, ඉන්දියාවේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බවත් පකිස්ථාන හමුදාව පවසනවා. එහෙත්, ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ, එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කළ බවට පකිස්ථාන හමුදාව කරන ප්‍රකාශ අසත්‍ය බවයි. උග්‍රවන ඉන්දු-පකිස්ථාන අර්බුදය හේතුවෙන් පකිස්ථාන ගුවන් තොටුපොළ අධිකාරිය එරට ගුවන් කලාපය සියලුම ගුවන් ගමනා ගමනය සඳහා තාවකාලිකව වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. ලබන 15 වැනිදා උදෑසන දක්වා රටේ උතුරු හා බටහිර ප්‍රදේශ පුරා ගුවන තොටුපොළ 32 ක් සියලුම සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා තාවකාලිකව වසා තබන බවට ඉන්දීය ගුවන් තොටුපොළ අධිකාරියද නිවේදනය කරනවා.