ඉකුත් වසරේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇයගේ රියදුරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
අදාල සැකකරු නීතීඥ ජයබා කළුපහන මහතා මාර්ගයෙන් ගොනුකළ ඇප අයදුම් පතක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරන බවත් නියෝග කළා.
ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින මිරිහාන පොලිසියට වාර්තා කළ යුතු බවත්, මෙම ඇප කොන්දේසී අතුරින් එකක් හෝ කඩ කලහොත් දැනට නියම කර තිබෙන ඇපය අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මියගිය නීතිඥවරියගේ රියදුරු වශයෙන් සේවය කළ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ජයනාත් ධීරසිංහ නමැත්තා මෙසේ ඇප මත මුදා හරින ලදී.
2024 වසරේ සැප්තැම්බර් මස 21 වනදා විවාහයෙන් වෙන්ව සිටි 36 හැවිරිදි නීතිඥවරියක ඇයගේ නිවසේදී කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මගින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ නීතීඥ ජයබා කළුපහන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ නිවසේ වසර දෙකක පමණ කාලයක් රියදුරු වශයෙන් සේවය කළ බවත් පසුව මියගිය තැනැත්තිය හා මෙම සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් හටගෙන තිබූ බව සඳහන් කර සිටියා.
එම ප්‍රේම සම්බන්ධය මියගිය තැනැත්තිය විසින් එක්තරා අවස්ථාවකදී නැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් කෝපයට පත් මෙම සැකකරු අදාළ මරණය සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා ඇප පනතේ 16 වන වගන්තියට අනුව මෙවැනි වරදකට සම්බන්ධ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි උපරිම කාල සීමාව මාස 12 ක් බවත් මෙම සැකකරු මේ වන විට මාස 12ක් සහ දින 02 ක් රිමාන්ඩ් භාරයේ පසුවන බව පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම සැකකරුට ඇප ලබාදීමට හැකියාව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ රජයේ නීතිඥවරිය මෙම විත්තිකරුට එරෙහිව සෘජුවම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඊට පෙර මොහු ඇපමත මුදා හරිනු ලැබුවොත් නඩුවේ පැවැත්මට අනිසි බලපෑමක් සිදුවන අතර යුක්තිය අපගමනය වීමක් සිදුවන බවත් සඳහන් කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ සිය සේවා දායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම සිදු කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.
ඒ අනුව ඕනෑම කොන්දේසියක් මත ක් සැකකරු ඇපමත මුදා හරි ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.