ඉන්දියාවද ? දකුණු අප්‍රිකාවද ?

ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වෙනවා. දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00 ට ආරම්භ වනවා.

කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් ලෝක කුසලාන කාන්තා එක් දින තරගාවලිය පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ කෙරුණේ, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන්.

මූලික වටයේ තරගවලින් පළමු ස්ථාන 4 හිමි කරගත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඉන් පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරයි.

එම තරගය ලකුණු 125 කින් ජයගත් දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතරයි. එම තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ කඩුලු 5 කින්. ඒ අනුව, ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මෙතෙක් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන කාන්තා එක් දින තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි. මීට පෙ‍ර 2005 සහ 2013 වසරවලදී අවසන් තරගයට සුදුසුකම් ලැබුවද, ඔවුන්ට ජය ගැනීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

අද අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාව ලෝක කුසලාන කාන්තා එක් දින තරගාවලියක අවසන් තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මෙතෙක් ඉතිහාසයේ පවත්වා ඇති ජාත්‍යන්තර කාන්තා එක් දින තරග සංඛ්‍යාව 34 ක්.

ඉන් තරග 20 ක් ඉන්දියාවත්, තරග 13 ක් දකුණු අප්‍රිකාවත් ජය ගත්තා. එක් තරගයක් තීරණයකින් අවසන්ව තිබෙනවා.

අද අවසන් තරගයේදී හර්මන් ප්‍රීට් කෝර්ගේ නායකත්වයෙන් ඉන්දියාව තරග වදින අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලව්රා වොල්වට් විසින්.