ගෙවල් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ 5ක් කොටු

ගෙවල් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙකු හා සැකකාරියක් මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වන දින මොරටුව, මාදන්ගහවත්ත ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රූපවාහිනි යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී 2025.12.11 වන දින මොරටුව පොලිස් ස්ථානයට වාර්තාවූ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 04 ක් වටිනා දේපළ සොරකම් කිරීමේ අපරාධයේ සැකකරු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මොරටුව කොරළවැල්ල ප්‍රදේයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු ඉහත අපරාධයට අමතරව මොරටුව පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ 08කට සම්බන්ධ සැකකරුවෙකු බවට අනාවරණය වී ඇත.

ඒ අනුව, සැකකරු විසින් අපරාධ සිදු කිරීමට යොදාගත් උපකරණ හා සොරකම් කරන ලද රන් භාණ්ඩ, ලැප්ටොප්, අත්ඔරලෝසු ඇතුළු දේපළ සොයාගෙන තිබුණා.

තවද එම සොරබඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙකු 2025.12.14 වන දින මොරටුව පොලිස් වසමේ අඟුලාන, එගොඩ උයන, මඩකිස්ස පාර හා රාවතාවත්ත ප්‍රදේශවලදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරුවන් අවුරුදු 37, 38 හා 54 වයස්වල පසුවන එගොඩඋයන, මඩකිස්ස පාර හා රාවතාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.