මැලේසියාවේ හිටපු අගමැති “නජිබ් රසාක්” ට තවත් වසර 15 ක සිරදඬුවමක්

බලය අයුතු ලෙස භාවිත කිරීම හා මුදල් විශුද්ධිකරණය යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ මැලේසියාවේ හිටපු අගමැති “නජිබ් රසාක්” ට තවත් වසර 15 ක සිරදඬුවමක් සහ ඩොලර් බිලියන 2 දශම 8 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

“වන්.MDB” හෙවත් මැලේසියානු සංවර්ධන අරමුදලේ ප්‍රතිපාදන වංචනික ලෙස සිය පෞද්ගලික ගිණුම්වලට බැර ගැනීමක් සම්බන්ධව ඊයේ පැවති නඩු විභාගයේදි එරට මහාධිකරණය විසින් ඔහු වරදකරු බවට තීන්දු කරනු ලැබුවා.     72 හැවිරිදි හිටපු අගමැති “නජිබ් රසාක්”, මැලේසියානු සංවර්ධන අරමුදලේ ඩොලර් මිලියන 543 ක මුදල් නීතිවිරෝධි ලෙස මාරු කිරීමට අදාළව බලය අයුතු ලෙස භාවිත කරමින් වරදක් සිදුකර ඇති බවට එරට මහාධිකරණය ඊයේ තීන්දු කළා. මෙම සිද්ධියට අදාළ පළමු නඩු විභාගයේ තීන්දුව ප්‍රකාරව ඔහු මේ වනවිටත් සිරගතව පසුවනවා.

බලය අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා 4 කට සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා 21 කටද හිටපු අගමැතිවරයා වැරදිකරු බවට එම අධිකරණය තීන්දු කළා. අධිකරණ තීන්දුව එලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, වසර 8 ක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුවයි. එහිදි අධිකරණය විසින් 76 දෙනෙකුගෙන් සාක්ෂි කැඳවා තිබුණා‍