ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවත වරක් ගනු ලබන උත්සාහය හමුවේ මතුව ඇති රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවත් තීව්‍ර කරමින් යුරෝපීය රටවල ඒකාබද්ධ හමුදා බලකායක් ග්‍රීන්ලන්තය ආශ්‍රිතව සිය උපායමාර්ගික මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඩෙන්මාර්කය ප්‍රමුඛත්වය ගන්නා “Operation Arctic Endurance” යටතේ ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල කුඩා “ගවේෂණ” කණ්ඩායම් මේ වන විට ග්‍රීන්ලන්තයේ අගනුවර වන නූක් වෙත පැමිණ තිබෙනවා.
මෙම හමුදා යෙදවීම සිදුවන්නේ ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත නිලධාරීන් හා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් අතර වොෂින්ටනයේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකින් අනතුරුවයි.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම හදිසි ජාතික ආරක්ෂක අවශ්‍යතාවයක් බව ධවල මන්දිරය තවදුරටත් අවධාරණය කරනවා.
කෙසේ වුවද, යුරෝපීය නායකයින් පවසන්නේ ඔවුන්ගේ මෙම මැදිහත්වීම නේටෝ සංවිධානයේ අභ්‍යන්තර ස්වෛරීභාවය ආරක්ෂා කිරීමක් බවයි.
වොෂින්ටනය සහ බ්‍රසල්ස් අතර පවතින මෙම දේශපාලන ගැටුම මධ්‍යයේ ග්‍රීන්ලන්ත නායකයින් සිය ස්ථාවරය නොවෙනස්ව තබාගෙන ඇති අතර අගමැති ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ප්‍රකාශ කළේ තම දූපත භූ-දේශපාලනික අර්බුදයකට මැදිව ඇති නමුත්, තේරීමක් කිරීමට සිදුවුවහොත් ග්‍රීන්ලන්ත වැසියන් ඇමෙරිකාවට වඩා ඩෙන්මාර්කය කෙරෙහි විශ්වාසය තබන බවයි.
මේ අතර, ඇමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත පිරිසක් ලබන සිකුරාදා ඩෙන්මාර්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට නියමිතයි.
