‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනෙහි සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද (27) දින ආරම්භ වනවා.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දනාමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද (27) පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් මෙම වැඩසටහන ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබා ගනිමින් සිදු කිරීමටත් රජය අපේක්ෂා කරනවා.