ඇමේසන් කලාපයේ පිහිටි ‘එල් රෙවෙන්ටඩෝර්’ ගිනි කන්ද හදිසියේ සක්‍රීය වී තිබෙනවා.

ඉක්වදෝරයේ ඇමේසන් කලාපයේ පිහිටි ‘එල් රෙවෙන්ටඩෝර්’ ගිනි කන්ද හදිසියේ සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් එරට රජය ගිනිකන්ද ආශ්‍රිත පදිංචිකරුවන්ට දැඩි අවදානම් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

වසර ගණනාවකට පසු මෙම ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවලට ලාවා ගලා යා‍මේ සහ අළු පතිත වීමේ දැඩි අවදානමක් පවතින බව ඉක්වදෝර භූ භෞතික විද්‍යා ආයතනය පවසනවා.

ගිනි කන්දෙන් නිකුත් වන අධික දුමාරය සහ රාත්‍රී කාලයේදී ඒ ආශ්‍රිත පාෂාණ රතු පැහැයෙන් දිස්වන ආකාරය නිරීක්ෂණය වන බවයි සංචාරකයින් කියා සිටින්නේ.

අධික වර්ෂාව පවතින අවස්ථාවලදීද මෙම ගිනි කන්දෙන් විදාරණය වන කොටස් ගංගා දිගේ ගලා යාමෙන් ජනාවාසවලට හානි සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව බලධාරීන් අදාළ පාර්ශ්වයන්ට අවධාරණය කර තිබෙනවා.

අවසන් වරට දෙදහස් දෙක වසරේදී මෙම ගිනි කන්ද පුපුරා ගියා. වත්මන් තත්ත්වය හමුවේ ක්විටෝ අගනුවර දක්වා එහි බලපෑම් එල්ල විය හැකි නිසා අඛණ්ඩව නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි එරට බලධාරීන් පවසන්නේ.