කුරුණෑගල නගරයේ ඉදිවෙමින් පවතින ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අපජල පිරිපහදු මධ්යස්ථාන පරිශ්රයේ විශේෂ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (28) සිදු විය.
එහිදී ව්යාපෘතියේ වත්මන් ප්රගතිය, ඉදිකිරීම් කටයුතු සිදුවන ආකාරය මෙන්ම එහි මෙහෙයුම් සැලසුම් පිළිබඳව ද අමාත්යවරයා අදාළ නිලධාරීන්ගෙන් සවිස්තරාත්මකව කරුණු විමසා සොයා බැලීය.
ශ්රී ලංකාව තුළ විධිමත් ලෙස සැලසුම් කරන ලද අපජලය පිරිපහදු මධ්යස්ථාන ප්රමාණවත් නොවීම සහ පවතින පද්ධති නිසි ලෙස ක්රියාත්මක නොවීම නිසා ගලි බවුසර් මඟින් එකතු කෙරෙන අපද්රව්ය බැහැර කිරීමේදී මතුව ඇති බරපතළ පාරිසරික හා සෞඛ්ය ගැටලුවලට පිළියමක් ලෙස මෙම ව්යාපෘතිය ආරම්භ කර ඇත.
පාරිසරික තිරසාරභාවය සහ ප්රමිතියෙන් යුත් පිරිපහදු ක්රියාවලියක් තහවුරු කිරීම අරමුණු කරගනිමින්, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වයඹ පළාත් ප්රාදේශීය සහාය මධ්යස්ථානයට අයත් ජල ප්රතිචක්රීකරණ අංශය මඟින් මෙම පුරෝගාමී ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබයි.
දිනකට සාමාන්යයෙන් ගලි බවුසර් 15 ක ධාරිතාවයකින් යුත් අපජල ප්රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාවෙන් යුතුව ඉදිවන මෙම මධ්යස්ථානය උසස් තාක්ෂණයෙන් සහ පරිසර හිතකාමී සැලසුම්වලින් සමන්විත වේ.
මෙම ව්යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම තුළින් කුරුණෑගල සහ අවට නාගරික ප්රදේශවල සනීපාරක්ෂක සේවාවන් විධිමත් වන අතරම ප්රදේශයේ පානීය ජල මූලාශ්ර දූෂණයෙන් ආරක්ෂා කර ගැනීමට ද සුවිශේෂී පිටුවහලක් හිමිවනු ඇත.

