“අමෙරිකාව සමඟ යළි සාකච්ඡා නෑ” – ඉරාන විදේශ ඇමතිගෙන් දැඩි ප්‍රකාශයක්

ඉරාන විදේශ අමාත්‍ය අරග්චි පවසන්නේ, අතීතයේ ලැබූ අතිශය තිත්ත අත්දැකීම් හේතුවෙන් අමෙරිකාව සමඟ යළි කිසිඳු සාකච්ඡාවකට හෝ එකඟතාවකට එළඹීමේ සූදානමක් නොමැති බවයි.

පසුගිය න්‍යෂ්ටික සාකච්ඡා වටවලදී අමෙරිකාව ක්‍රියා කළ ආකාරය පිළිබඳව දැඩි කලකිරීමක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරන්නේ දෙරට අතර පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ අමෙරිකාව කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බවයි.

ඔහු පී.බී.එස් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමේ මාතෘකාව මේ වන විට ඉරාන න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ඇති බවද සඳහන් කළා.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අදහසක් තමන්ට නොමැති අතර න්‍යෂ්ටික ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීමට අවශ්‍ය බවටත් අමෙරිකාව මීට පෙර පොරොන්දු වූ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

එසේ තිබියදීත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව තීරණය කිරීම ද්‍රෝහී සහගත ක්‍රියාවක් ලෙසයි ඔහු හඳුන්වන්නේ.

මේ හේතුවෙන් අමෙරිකාව සමඟ නැවත වරක් සාකච්ඡා මේසයට වාඩි වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඔහු අවධාරණය කරනවා.

අමෙරිකානු පරිපාලනය කෙරෙහි පවතින මෙම දැඩි ස්ථාවරය කලාපීය දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ඉස්මතු කරනු ඇති බවට දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරමින් සිටිනවා.