මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ලෝකයේ දෛනික තෙල් සහ LNG සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර එය අවහිරවීමෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ අස්ථාවර වෙමින් පවතිනවා.
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යමින් පවතින අතර, බොහෝ රටවල් තම බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා විවිධ හදිසි පියවර ගනිමින් සිටිනවා.
ආනයනික LNG සහ ගෑස් මත යැපෙන රටවල් ඉහළ යන මිල ගණන් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දී සිටින අතර, බලශක්ති ඉතිරිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මැද පෙරදිග ගැටුම් හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල ගෑස් තොග මිල ආසන්න වශයෙන් 86%කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්ත්වය සමනය සඳහා විකල්ප සැපයුම් මාර්ග සෙවීමට සහ පවතින ගෑස් සංචිත උපරිම ලෙස භාවිතා කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.
එක්සත් රාජධානියේ ගෑස් තොග මිලද 75%කට වඩා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එරට රජය බලශක්ති මිල පිළිබඳව සමාලෝචනය කර ඇති අතර, හදිසි ගෑස් සංචිත සක්‍රීය කිරීමටද පියවර ගෙන තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදය දේශීයව ගෑස් නිෂ්පාදනය සිදු කරන බැවින් එහි බලපෑම සාපේක්ෂව අඩු වුවද, ගෝලීය වෙළෙඳපොළේ මිල ඉහළ යෑම හේතුවෙන් එරට ගෑස් මිල 17% කින් ඉහළ ගොස් තිබෙනවා. තම මිත්‍ර රටවලට බලශක්ති සැපයුම සහතික කිරීමටTH ගෑස් මිල ස්ථාවරව තබා ගැනීමට අමෙරිකාව මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ගල්ෆ් කලාපයෙන් ලැබෙන LNG සැපයුම ඇණහිටීම නිසා පකිස්ථානය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් රජයේ ආයතන සඳහා සතියට දින හතරක සේවා කාලයක් හඳුන්වා දීමටත්, පාසල් වසා දැමීමටත්, රජයේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදු කිරීමටත් එරට රජය තීරණය කර තිබෙනවා.
ඉන්දියාව තම ගෑස් අවශ්‍යතාවයෙන් 85% සිට 90% දක්වා ප්‍රමාණයක් මැදපෙරදිගින් ආනයනය කරනවා. ඉන්දීය තෙල් සංස්ථාව සහ අනෙකුත් රාජ්‍ය පිරිපහදු ආයතන 14.2kg බරැති ගෘහස්ථ LPG සිලින්ඩරයක මිල 7% කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ගෑස් සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 853 සිට 913 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හෝටල් සහ ආපනශාලා සඳහා භාවිත කරන 19kg බරැති වාණිජ සිලින්ඩරයක මිල ඉන්දීය රුපියල් 1,768.50 සිට 1,883 දක්වා ඉහළ දමා තිබෙනවා.
ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යෑම පාලනය සඳහා, තමන් පනවා ඇති සමහර තෙල් හා ගෑස් ආශ්රිත සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවති දුරකථන සංවාදයකින් පසු, ගෝලීය වෙළෙඳපොළට තෙල් සහ ගෑස් සැපයුම වැඩි කිරීම සඳහා රුසියාව සලකා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක වෙළඳපොළේ ආහාර මිල ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය අනතුරු අඟවනවා. මෙමඟින් විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් සියයට 38ක් සහ ද්‍රව ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 19ක් මෙන්ම පොහොරවලින් තුනෙන් එකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන බව, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය පවසනවා.
බලශක්ති සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලොව පුරා ආහාර මිල ඉහළ ගොස් ජීවන වියදම් පීඩනය දැඩි වනු ඇති බවද එම ආයතනය අවධාරණය කරනවා. විශේෂයෙන් මෙම මුහුදු මාර්ගය හරහා සිදුවන වෙළඳාමෙන් සියයට 84ක ප්රතිලාභ ලබන ආසියානු කලාපයට මෙහි බලපෑම දැඩිව එල්ල වන බවට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ ආයතනය අනතුරු අගවනවා.
