ඉන්ධන අර්බුදය නිසා ආදාහන කටයුතු නවතී

තායිලන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක් සතු ආදාහනාගාරයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ අවශ්‍ය තරම් ඉන්ධන ලබාදීම පිරවුම්හල් ප්‍රතික්ෂේප කිරීම ඊ‍ට හේතුවයි.

නැකෝන් පැනොම් හි පිහිටි මහාතත් විහාරස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පවතින තත්ත්වය සමනය වනතෙක් ආදාහනාගාරය වසා තැබීමට තීරණය කළ බවයි.

විහාරස්ථානයේ නියෝජ්‍ය විහාරාධිපති හිමියන් පවසන්නේ පිරවුම්හල් මගින් බෝතල් හෝ කෑන් වලට ඉන්ධන ලබානොදීම නිසා අවශ්‍ය ප්‍රමාණයට තොග පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවයි.

පරිසර හිතකාමී පද්ධතියක් සහිත මෙම ආදාහනාගාරයේ, ආදාහනයක් සඳහා ඉන්ධන ලීටර 90 ක් පමණ අවශ්‍ය වන අතර ඒ සඳහා එරට මුදලින් බාත් තුන්දහසක පමණ පිරිවැයක් දැරීමට සිදුවනවා.

මසකට ආදාහන කටයුතු 10 ක් පමණ සිදුකෙ‍රෙන විහාරස්ථානයේ මෙම ගැටලුව සඳහා විසදුමක් එරට රජයෙන් අපේක්ෂා කරන බවයි විහාරස්ථානයේ පාලනාධිකාරය පවසන්නේ.