අද සිට ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයට

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම අද (19) සිට ක්‍රියාත්මකයි.

වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින් හට ද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා දැනුම්දෙනවා.

කෙසේ වෙතත්, ​පාරිභෝගික ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම මෙන්ම දිවයින පුරා පිරවුම්හල් අසළ තවමත් දක්නට ලැබෙන අධික පෝලිම් පාලනය කිරීම මෙම නව තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.