බොර තෙල් මිලට දැඩි බලපෑම්

ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන ‘South Pars’ ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඉරානය සතු මෙම ගෑස් නිධිය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ පුවත් සේවා තහවුරු කර සිටිනවා.

කටාර් රාජ්‍යය සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරන මෙම දැවැන්ත බලශක්ති කලාපයට එල්ල වූ මෙම ප්‍රහාරය ගෝලීය බලශක්ති සැපයුමට දරුණු තර්ජනයක් එල්ල කර තිබෙනවා.

ඉරානයට අයත් වර්ග කිලෝමීටර් 3,700 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ගෑස් පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පර්සියානු බොක්ක ආශ්‍රිතව පවතින මෙම යුධමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ගෝලීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කර සිටිනවා.