ඉරානය අඳුරේ ගිල්වන ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉරානයේ තර්ජන අවසන් කිරීමේ අද්දර අමෙරිකාව පසුවන බව පවසන ජනාධිපතිවරයා, නියමිත කාලය තුළ එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් ඉරානයේ විදුලි උත්පාදන මධ්‍යස්ථාන ඇතුළු සියලු බලශක්ති යටිතල පහසුකම් වෙත එකවර ප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු අඟවනවා.

ඉරාන නාවික හමුදාව දැනටමත් විනාශ වී ඇති බවත් ඔවුන්ගේ මිසයිල එල්ල කිරීමේ හැකියාව සහ අවි ගබඩා සැලකිය යුතු ලෙස අඩපණ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මෙම යුද්ධය අමෙරිකාවේ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජනයක් ලෙස හඳුන්වන ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව කියා සිටිනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෙසු රටවල් ද ඉදිරිපත් විය යුතු බව පවසන ජනාධිපතිවරයා මැදපෙරදිග කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවල් ලබාදෙන සහයෝගය අගය කරනවා.

එම රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවරින් වාර්තා වන්නේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් එරට යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති බවයි.

ඉරානයේ හිටපු විදේශ අමාත්‍ය කමල් කරාසි මහතා ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ඇති අතර ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වනවා.