උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 24 දින සිට අප්‍රේල් මස 24 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු අයදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන් වසා දැමෙන අතර එය කිසිඳු හේතුවක් මත දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේවෙතත් අයදුම්කරුවන්ට මේ පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0112 785 922, 0112 784 208 සහ 0112 784 537 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනය මගින්ද විභාග අපේක්ෂකයින්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.