වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනේ

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඉදිරියේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණා.

වියට්නාම් – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් සංචාරක, ආරක්ෂක කටයුතු සම්බන්ධතා, ආගමික,සිවිල්,වාණිජ, ප්‍රවාහන සහ ආර්ථික, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු විය.

ඒ අනුව,
 පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් මහජන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ලුඕන්ග් ටැම් ක්වාන්ග් (General Luong Tam Quang) මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.


 විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වූ හායි ක්වාන් ( Mr. Vu Hai Quan) මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
 වියට්නාමයේ ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම වියට්නාම් ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍ය න්ගුයෙන් ඩින් කාන්ග් මහතා (Mr. Nguyen Dinh Khang) සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.


 වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම වියට්නාම් සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් (Mr. Ho An Phong,) මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.

 වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුම වියට්නාම් සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් (Mr. Ho An Phong,) මහතා සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා අරියරත්න මහත්මිය විසින් හුවමාරු කර ගනු ලැබීය.

වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරෙන මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගය වියට්නාම් මුදල් අමාත්‍ය එන්ගෝ වැන් ටුවාන් (NGO VAN TUAN) සහ Vietnam National Chemical Group හි ප්‍රධාන අධ්‍යක්ෂ නුයෙන් හූ තූ ( Mr Nguyen Huu Tu) යන මහත්වරු විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් මෙම අවස්ථාවේදී ප්‍රදානය කරනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55වන සංවත්සරය සැමරීම සඳහා, 2025දී යෙදුණු එරට රාජ්‍ය සංචාරයෙන් අනතුරුව, වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි සිදු වේ.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.