අමෙරිකාවේ ගුවන් සංදර්ශනයක් මැද බියකරු අනතුරක්

අමෙරිකාවේ පැවැති ගුවන් සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් එම යානා දෙක විනාශ වී තිබෙනවා.

යානාවල සිටි නියමුවන් සිව්දෙනාම දිවිගලවා ගැනීමට සමත්වුණා.

අමෙරිකානු නාවික හමුදාවට අයත් EA18-G වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අයිඩහෝ හි මවුන්ටන් හෝම් ගුවන් හමුදා කඳවුර ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු එම ප්‍රදේශයේ තදබල ගින්නක් ද හට ගැනුණා.

ගුවන් සංදර්ශනයේ අවසන් දිනයේදී මෙම අනතුර සිදුව ඇති අතර, යානා එකිනෙක ගැටෙන අවස්ථාවේම එහි සිටි ගුවන් නියමුවන් ඇතුළු සිව්දෙනා පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉන් ඉවතට පැන ඇති බව නාවික හමුදා ප්‍රකාශකයෙකු පවසා සිටියා.

අනතුරත් සමඟ එම ගුවන් සංදර්ශනය වහාම අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක හේතූන් මත එම ගුවන් හමුදා කඳවුර ද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

බේරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව මවුන්ටන් ගුවන් හමුදා කඳවුර නිවේදනය කරනවා.

එහෙත් ඔවුන් මේ වනවිට වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, අනතුර සිදුවීමට හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.