මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

මස්කෙළිය ප්‍රදේශයේ අද (21) දින ධාවනය කළ වාහන 28ක් දින 30කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසුවා.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා, හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිළධාරින්, මස්කෙළිය පොලිසියේ නිළධාරින් එක්ව මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ, මස්කෙළිය හැටන් මාර්ගයේ, මස්කෙළිය සාමිමලේ මාර්ගයේ සහ අතුරු මාර්ගවල ධාවනය කල පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ, ත්‍රී රෝද රථ ඇතුලු වාහන 40ක් පරික්ෂාවට ලක් කර ඇත.

පරික්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අන්ත්‍රාදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරිම සහ වාහනවල තිරිංග පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගැනුණා.

තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ එම වාහන දින 30ක ඇතුලත අඩුපාඩුකම් සපුරා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත පරීක්ෂාවකට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ධාවන බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයා භාරයට ගැනිණ.

මස්කෙළියෙ සිට වතු ආශ්‍රිත වතු මාර්ගවල ධාවනයට එක් කර තිබූ ඇතැම් පෞද්ගලික බස් රථ මගී ප්‍රවාහනයට දැඩි අවධානම් ලෙස තිබූ බවයි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේ.