රුපියල් මිලියන 114ක වියදමකින් ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීම සඳහා භාවිතා කරනු ලබන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 18ක් මෙම වසරේ අලුතින්ම මෙරට රෝහල් පද්ධතියට.
මෙරට කාන්තාවන්ට වැළදෙන පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි (Colposcopy ) යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වසරේ දැනටමත් රෝහල් පද්ධතියට එක් කර ඇති අතර ලබන මාසයේ තවත් යන්ත්‍ර 06ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් වන අතර මේ සදහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වැයකර ඇත.
අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, ලැබීම රෝහල මාතර, මොණරාගල, පුත්තලම, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ඇති ප්‍රධාන රෝහල්වල මේ වනවිටත් එම යන්ත්‍ර ස්ථාපිතය.
එළඹෙන ජුනි මාසය වනවිට තවත් කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 06ක් අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපිත කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේවන විට සැලසුම්කර ඇත.
එම යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන්කර ඇත.
පසුගිය කාලය පුරාම රජයේ රෝහල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වුයේ කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 15ක් පමණක් වු අතර එම යන්ත්‍ර අතුරින් පැරණිතම යන්ත්‍ර පහක් සඳහා නව යන්ත්‍ර පහක් ද ප්‍රතිස්ථාපනය කරනු ලැබීය.
මෙම සියලු යන්ත්‍ර ස්ථාපිත කිරීමෙන් පසු ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව සිදුකිරීම සදහා රජයේ රෝහල් පද්ධතිය තුළ ඇති මුළු කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර ප්‍රමාණය 33 කි.
මෙමගින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රෝගී ප්‍රතිකාර සේවා සිදු කිරීම අමාත්‍යාංශයේ මුලික අරමුණ වේ.
කොල්පොස්කොපි යනු ගැබ් ගෙල සහ යෝනි මාර්ගය තුළ අසාමාන්‍යතා පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන වෛද්‍ය ක්‍රියා පටිපාටියකි.
කොල්පොස්කොප් ලෙස හඳුන්වන විශේෂිත විශාලන උපකරණයක් මඟින් ගැබ්ගෙල පටක පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දෙන අතර, වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර සිදු කිරීමට මෙම අතිනවීන යන්ත්‍රය උපකාරී වේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ නාරිවේද පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාව ඇතුළු අසාමාන්‍යතා හඳුනා ගැනීම සදහා මෙම යන්ත්‍රය ප්‍රතිකාර සේවා සදහා භාවිතා කරනු ලබයි.
මෙම පිළිකාව පුර්ව පිළිකා අවධියේ හඳුනා ගැනීම තුළින් වළක්වා ගත හැකි පිළිකාවක් බවත්, මෙය මානව පැපිලෝමා වයිරසය (Human Papilloma Virus) මගින් බෝවන රෝගයක් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
වර්තමානය වනවිට වසරකට සාමාන්‍යයෙන් නව රෝගීන් 1200 පමණ හඳුනා ගන්නා අතර නිසි ප්‍රතිකාර නොලැබීම නිසා වසරකට රෝගීන් 180 පමණ මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත අනාවරණය කරයි.

