ගුරු විභාගය සාර්ථකව අවසන්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අද (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048 දී සාර්ථකව පවත්වා අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විභාගය සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991 ක්ද, අනෙකුත් අයදුම්කරුවන් 96,442 ක්ද අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකු සඳහාද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබුණා.

2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති එක් නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කරන ලදී.

සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරු ව, දිවයින පුරා පවතින සමස්‍ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන් ම අනෙකුත් උපාධිධාරීන්ට ද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පැවැත්වීම විශේෂත්වයකි.