අතුරුදන් වූ ඉන්දීය ගුවන් ප්‍රහාරක යානාව කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා  ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පුහුණු මෙහෙයුමක් අතරතුර අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානය කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා  ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍යය වාර්තා සඳහන් කරනවා.

බලධාරීන් පවසන්නේ ජෝර්හාට් ගුවන් කඳවුරෙන් ගුවන්ගත වූ මෙම යානය රේඩාර් පද්ධතියෙන් විසන්ධි වී අතුරුදන් වීම සිදු වූ අතර මේ වන විට අනතුරට පත් යානයේ සුන්බුන් සොයාගෙන ඇති බවයි. ඒ කාර්බි ඇන්ග්ලොන්ග් දිස්ත්‍රික්කයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක් ආශ්‍රිතවයි.  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානතම ප්‍රහාරක යානා මාදිලියක් වන Su-30 MKI වර්ගයේ යානාවක්.

අනතුරෙන් බලඝණ නායක අනුජ් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පූර්වේෂ් දුරග්කාර් යන ගුවන් නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව තහවුරු කරනවා. ජෝර්හාට් ගුවන් කඳවුරේ සිට සැතපුම් 60 ක් පමණ දුරින් පිහිටි ඝන වනාන්තර සහිත කඳුකර ප්‍රදේශයකට යානය කඩා වැටී ඇති අතර, සෝදිසි මෙහෙයුම් වලදී එහි සුන්බුන් සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

රුසියානු සහ ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති මෙම යානා ඉන්දීය ගුවන් බලයේ ප්‍රධානතම යානා වර්ගයක් වන අතර, මෑත කාලීනව මෙවැනි යානා කිහිපයක්ම අනතුරට ලක්වීම පිළිබඳව මේ වනවිට බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව සඳහන්. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පවත්වන බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරනවා.