අනතුරු වැලක්

දිවයිනේ ඊයේ (09) දින සිදුවූ අනතුරු කිහිපයකින් ප්‍රද්ගලයින් තිදෙනෙකු ජීවිතකෂයට පත්ව තිබෙනවා.

කරෙයිනගර් මාදගල් මාර්ගයේ පොන්නාලේ කෝවිල ආසන්නයේදී පොන්නාලෙයි හංදිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා කරෙයිනගර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණකරු අවුරුදු 19 ක් වූ වික්කාවිල්, කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

එමෙන්ම කැබ් රථයක් හා අත්ට්‍රැක්ටර් රථයක් එකිනෙකට ගැටී ට්‍රැක්ටර් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) දින උදෑසන සාලියවැව, ත්‍රිකුණාමලය මාර්ගයේ 17 හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වී පටවාගත් ටේරලයක් අමුණාගත් අත්ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියැදුරු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 61 ක් වූ අළුත්ගම, ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.     

අවුරුදු 41 ක් වන කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේදී හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු හා වෑන් රථයේ රියැදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 19 ක් වූ ඇතිලිවැව, මොරණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    

සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.