අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම් මෙතැනින්

තුල්හිරිය, සීමා සහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් 15 දෙනෙකුට වන්දි ලබා දීමට අද කැබිනට් අනුමැතිය හිමි වුණා. එමෙන්ම, එවක රැකියාව අහිමි වූ තවත් සේවකයින් 169 ක් සඳහා ගෙවීම් සිදු කිරීමට ද අනුමැතිය ලැබී තිබෙනවා.

තුල්හිරිය සීමා සහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගම වසා දැමීම නිසා අගතියට පත් සේවකයින්ට වන්දි සහ අනෙකුත් ව්‍යවස්ථාපිත දීමනා ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා. මේ වන විට සේවකයින් 1656 දෙනෙකු සඳහා ගෙවීම් සිදු කර අවසන්. අමාත්‍ය මාහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ඉදිරියේදී පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිත බැවින්, ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබාදීම ඵලදායී නොවන බව, නිරීක්ෂණය වී තිබෙනවා. එබැවින්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලියෙන්, සං‍ඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.                                                                                                                  

ඉතාලියේ සහ ශ්‍රී ලංකාව අතර, රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. වසර 6 කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්ථනය කිරීම මගින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතියන්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම එම ගිවිසුමේ විධි විධානයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සඳහා වන යෝජනාව අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

මහනුවර විලියම්ගොල්ලව මාවතේ කොටසක් මංතීරු 4 ක ප්‍රමිතියට පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන මාගා ඉංජිනේරින් පුද්ගලික ආයතනයට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ, රුපියල් මිලියන 696 යි දශම 7 යි 5 ක මිලකටයි. අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ජලභීතිකා රෝගය වැළැඳීම වැළැක්වීම සඳහා භාවිත කරනු ලබන රේබීස් එන්නත් මාත්‍රා ලක්ෂ 30 ක් ප්‍රසම්පාදනයට මෙරට සිටි හෙල්ත් ඉම්පෝට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 360 ක මුදලකට පිරිනැමීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්.

නොරොච්චෝල් වාරියපොළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය සහ වාරියපොළ වහරු අංගනය ඉදිකිරීම සම්බන්ධව ඊට අවශ්‍ය අරමුදල් ආසියානු යටතල පහසුකම් ආයෝජන බැංකුව විසින් සපයා ගැනීමට අපේක්ෂා කර තිබෙනවා. ඒ සඳහා වූ යෝජනාව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මැණික් කර්මාන්තයට අදාළව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අති විශේෂ ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.