
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් “කිසිදු ජයග්‍රහණයක් අත්කර නොගත්” බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කියා සිටිනවා. ඉකුත් අඟහරුවාදා ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු ඔහු සිදුකළ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය මෙයයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිදු හානියක් සිදු නොවූ බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.
ඊශ්‍රායලය සමඟ ඉකුත් 13 වැනි දින සෘජු ගැටුමක් ඇති වූ අවස්ථාවේ සිට බොහෝ දුරට මහජන දර්ශනයෙන් බැහැරව සිටි අයතුල්ලා අලි කමේනි, ඊයේ උදෑසන රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් සතියක මහජන නිශ්ශබ්දතාවයක් අවසන් කළා.
ඉරාන උත්තරීතර නායකයා බංකරයක සැඟවී සන්නිවේදනය සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
එය ඔහු සිටින ස්ථානය පිළිබඳ හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සිදුකළ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල කළ පළිගැනීම් ප්‍රහාරය “දැඩි පහරක්” බව සඳහන් කරන අයතුල්ලා අලි කමේනි අදාළ ප්‍රහාරය ගැන සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි බවයි.
කිසියම් ප්‍රහාරයක් සිදුවුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන පිරිවැය නිසැකවම ඉතා ඉහළ මට්ටමක් ගනු ඇති බව ඉරාන ආධ්‍යාත්මික නායකයා අවධාරණය කරනවා.