අල්ලස් කොමිසමේ දැලට හසුවූ සැකකරුවෙකු රිමාන්ඩ්

ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය නොවූ toyota වර්ගයේ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස දත්ත ඇතුළත කර ලියාපදිංචි කර එම රථයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රේගුවේ නිත්‍යානුකූලව නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ toyota වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආදායම් බලපත්‍රයක් සැකසීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසුවා.

මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන අතර ඊට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවත් එම නිලධාරින් සඳහන් කර සිටියා.

ඒ අනුව සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාව තිබෙන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායකයා සිවිල් පුද්ගලයෙකු බවත් ඔහුව දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.