ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යසායකයින් බිහිකිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක්-ජනපති

ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යසායකයින් බිහිකිරීම රජයේ අරමුණ බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික, ‍දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාවගේ භූමිකාව සුවිශේෂීයි. එකී සියලු ක්ෂේත්‍රයන්හි විශාල කාර්යභාර්යක් දරන කාන්තාවගේ භූමිකාව අගය කරමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂිතතාව පිළිබඳ අද දිනයේ විශේෂයෙන් සිහිපත් කළ ද එය එක් දිනකට පමණක් සීමා කළ නොහැකි බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ජනගහනයෙන් සියයට 52ක් නි‍යෝජණය කරන කාන්තා පරපුර වර්තමානයේ මෙරට ආර්ථිකය තුළ විශාල කොටසක් නි‍යෝජනය කරනවා. වැටුප් නොලබා ගෘහනියක් ලෙස ඇය ඉටුකරන භූමිකාවට අමතරව, ඇඟළුම්, වතු, විදේශ රැකියා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවා අංශවලත් කාන්තාව විශාල දායකත්වයක් ලබාදෙන බවයි, ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ලාංකීය කාන්තාවගේ අභිමානය සහ ශක්තිය ලොවට පෙන්වමින් “පොහොසත් රටක අභිමන ඇය වේ දැයක පෙරමග” තේමාව යටතේ කාන්තා දිනය සංවිධාන කිරිම බෙහෙවින් අගය කරන බව, ජනාධිපතිවරයා පවසනවා.

රට ගොඩනැගීමට තිර අදිටනින් යුතුව අප යන ගමනේ පෙර ගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බවයි, ජනාධිපතිවරයා සිය සුභපැතුම් පණිවුඩයෙන් සඳහන් කරන්නේ.