ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා-එමීර් තරගය අදයි

ආසියානු 15 සාමාජික ප්‍රමුඛතම රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව අද (4) පස්වරු 4.00ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එමීර් රාජ්‍ය රග්බි පිල ඊයේ සිය පුහුණුවීම් කටයුතුවල නිරතවූ අතර, අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. තරින්ද රත්වත්තගේ නායකත්වයෙන් සහ ලසිඳු කරුණාතිලකගේ උපනායකත්වයෙන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්වී සිටින ශ්‍රී ලංකා පිල වෙතින් සංචාරක එමීර් පිලට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇත.

2027 ලෝක කුසලාන 15 සාමාජික රග්බි තරගාවලිය සඳහා ආසියාවෙන් සුදුසුකම් ලබාගන්නා දෙවැනි රට තෝරාගැනීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ආසියානු 15 සාමාජික ප්‍රමුඛතම රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 38-34ක් ලෙස පරාජයට පත්වූ අතර, හොංකොං පිල සමඟ පැවැති දෙවැනි තරගයේදී ලකුණු 78-7ක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙසේය – තරින්ද රත්වත්ත (නායක), ලසිඳු කරුණාතිලක (උපනායක), මලිත විජේසුන්දර, ශාමික කුෂාන්, විමුක්ති ගමගේ, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, තරිඳු චතුරංග, මොහොමඩ් රිෆාන්, තෙනුක නානායක්කාර, දිනාල් ඒකනායක, ආකාෂ් මධුසංක, පසිඳු බණ්ඩාර, ඇඩම් ගවුඩර්, අම්ජාඩ් ෆවුමි, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දසනායක, චතුර සොයිසා, නිරෝෂ් පෙරේරා, ප්‍රිමේෂ් ධනුෂ්ක, ශාහිඩ් සුම්රි, මුර්ෂීද් ඩුරේ.