ඇත්ත පුවත් පතේ හිටපු ප්‍රධාන කතෘවරයෙකු වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා අද උදේ අභාවප්‍රාප්ත වුණා.
වාමාංශික දේශපාලනයේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ චරිතයක් වූ ඔහු මාක්ස්වාදී චින්තනය, කම්කරු අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලේඛකයෙක්.
පෙරදිග හා අපරදිග නාට්‍ය කලාප පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් වූ ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිධරයෙක්.
අනතුරව එම විශ්වවිද්‍යාලයේම සහය කථිකාචාර්යවරයෙක් ලෙස සේවයට එක්වන මයිකල් මහතා ජර්මනියේ බර්ලින් නුවර හුම්බෝල්ඩ්ට් සරසවියෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.
දුරස්ථකරණ රීතිය, රංගනයට හඳුන්වාදුන් මහා නාට්‍යවේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නිර්මාණ ලාංකීය වේදිකාවට බලපෑ අයුරු විමසමින් කළ “ද සිංහල ස්ටේජ් ඇන්ඩ් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්” කෘතිය සඳහා ඔහුට ආචාර්ය උපාධිය හිමිවුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ ආරම්භක පීඨාධිපතිවරයා වූයේ ද ඔහුයි.
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරය, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ විශේෂඥ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.
