ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව සැකකරු අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2013 වසරේ සිට 2016 දක්වා කාල සීමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි දෙකක් මත විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
2019 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල නීතිපතිවරයාගේ උපදෙස් මත අල්ලස් කොමිසමට යොමු කරන බවත් ඔහු පැවසුවා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ බව කී එම නිලධාරියා අදාළ විමර්ශනවලදී 2013 වසරේ ප්‍රංශ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී මෙම සැකකරුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය නමින් බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි සමාගමක සිංගප්පූරුවේ පිහිටි standard charted බැංකුවේ ගිණුම්වලට අල්ලස් වශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් ලැබී තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත් සඳහන් කළා.
ඉන් පසුව එම මුදල් සැකකරුගේ බිරිඳගේ ගිණුමේ සිට සැකකරුගේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවට අවස්ථා හතරකදී ලැබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම සැකකරු අල්ලස් කොමිසමට කැඳවීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටියා.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට 2020 වසරේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රදානය කළ බව විත්තිය විසින් ප්‍රකාශ කළත් එම නඩුකරය මෙම සිද්ධියට හාත්පසින්ම වෙනස් නඩු කටයුත්තක් බව ප්‍රකාශ කළා.
එම නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකරුට ඇප ප්‍රදානය කර තිබීම සූවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළා.
මෙම සිද්ධියට අදාලව ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතු බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇති හෙයින්ද මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුගේ බිරිඳ ප්‍රකාශ ලබාදීම සඳහා මෙතෙක් ඉදිරිපත් වී නැති හෙයින් ද මෙම අවස්ථාවේදී මෙම සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි බව පෙනී යන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ අනුව ඔහු අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය කියා සිටියා.
