
ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීරණ ගොඩනැගිල්ල විවෘත කිරීම හෙට (16) පස්වරු 2.00 ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර ඇත. මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීමට කටයුතු කර ඇත.
මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.
ද සොයිසා කාන්තා රෝහල – මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ පෙරගමන්කරු ලෙස 1879 දී පිහිටුවා ඇත.
සොයිසා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල සහ ආසියාවේ දෙවැනි පැරණිතම මාතෘ රෝහල ලෙස ද හඳුන්වයි. ආරම්භයේ පටන් මේ රෝහල මව්වරුන්ගේ සහ නව ජන්ම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම උසස් කිරීම සඳහා වසර 140 කට අධික කාලයක් තිස්සේ කැපවී සේවය කරනු ලබයි.
ද සොයිසා කාන්තා රෝහල මව්වරුන්, කාන්තාවන් හා නවජ ළදරුවන්ට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ මව් සෞඛ්‍යය, ළමා සෞඛ්‍යය අධ්‍යාපනය සහ වෛද්‍ය නවෝත්පාදනය පිළිබඳ කැපවීමේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතී. එමඟින් මව්වරුන් හා ළදරුවන් සඳහා ආදරය, කැපවීම සහ උසස් සේවාවක් සැපයීමේ උතුම් අරමුණ දිගටම ඉටු කරමින් පවතින රෝහලක් ලෙස ද සොයිසා කාන්තා රෝහල හැඳින්විය හැක.