ඇමති සරෝජා පෝල්රාජ් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට හෙට (05) පිටත්ව යයි

ගෝලීය පාර්ලිමේන්තු සහ දේශපාලනික ගැටළු සාකච්ඡා කිරීමේ අරමුණින් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව (CPC) මෙවර බාබඩෝස් පාර්ලිමේන්තුවේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ බාබඩෝස් ශාඛාවේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් 05 දින සිට 12 දින දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා සංසඳය (WPC) නියෝජනය කරමින් එහි සභාපති ලෙස කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, (පා.ම) සුගත් වසන්ත ද සිල්වා මහතා, (පා.ම) නීතීඥ සාගරිකා අතාවුද මහතමිය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසද සහභාගී වීමට නියමිතය.

විවිධ අනු සමුළු රාශියක් සහ වැඩමුළු සැසි ගණනාවක් සමඟ සතියක් පුරාවට පැවැත්වෙන මෙම සමුළුව වෙත සහභාගී වීම සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි ⁣පෝල්රාජ් මහත්මිය ඇතුළු පිරිස හෙට (05) දින අළුයම බාබඩෝස් දිවයින බලා පිටත්වීමට නියමිතයි.