ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනේඩෝ කුණාටු සහ අයහපත් කාලගුණය

ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් සහ ඔක්ලහෝමා ප්‍රාන්තවලට බලපෑ දරුණු ටොනේඩෝ කුණාටු සහ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රබල සුළඟත් සමඟ පැමිණි මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශ හරහා හමාගිය ප්‍රබල ටොනේඩෝ කුණාටු හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මිචිගන්හි පුද්ගලයින් සිව් දෙනෙකු සහ ඔක්ලහෝමා ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසා සිටිනවා. මියගිය පිරිස අතර මිචිගන්හි 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ ඔක්ලහෝමාහි මවක සහ දියණියක සිටින බවයි තහවුරු වී තිබෙන්නේ.

කුණාටුව හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා දහස් සංඛ්‍යාත පිරිසකට විදුලි බලය ඇණහිට ඇති බවත් වාර්තා වනවා.

​මිචිගන් ප්‍රාන්තයේ අවම වශයෙන් ටොනේඩෝ තුනක් පමණ හමා ගොස් ඇති බව ජාතික කාලගුණ සේවය තහවුරු කර තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් සහ මාර්ග අවහිරතා ඉවත් කිරීමේ කටයුතු සහන සේවා කණ්ඩායම් විසින් මේ වන විටත් සිදු කරමින් පවතිනවා.

පවතින අන්තරායකර තත්ත්වය සලකා මිචිගන් ආණ්ඩුකාරවරිය විසින් ප්‍රාන්තයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කර ඇති බවයි පවසා සිටින්නේ. ඉදිරියේදී තවදුරටත් දැඩි සුළං සහ අකුණු සහිත වැසි ඇති විය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.