ඉන්දීය ගුවන් හමුදාවට අයත් සුකෝයි 30-MKI වර්ගයේ ප්‍රහාරක යානයක් ඇසෑම් ප්‍රාන්තයේදී හදිසියේම රේඩාර් පද්ධතිවලින් අතුරුදන් වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අසෑම් ප්‍රාන්තයේ කාර්බි ඇන්ග්ලොන්ග් දිස්ත්‍රික්කයට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙය අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන් වූ යානය සහ එහි නියමුවන් සොයා මේ වන විටත් ප්‍රදේශය පුරා දැවැන්ත සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් ලෙස සැලකෙන සුකෝයි 30-MKI වර්ගයේ යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවට සැක කරනවා.
නිත්‍ය පුහුණු පියාසර මෙහෙයුමක නිරතව සිටියදී ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම යානය රේඩාර් පද්ධතියෙන් බැහැර වී තිබෙනවා.
ප්‍රාදේශීය වාර්තා මඟින් පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරක යානය අතුරුදන් වූ අවස්ථාවේදී කාර්බි ඇන්ග්ලොන්ග් ප්‍රදේශයෙන් ප්‍රබල පිපිරුම් හඬක් ඇසුණු බවට ප්‍රදේශවාසීන් තොරතුරු ලබා දෙන බවයි.
කෙසේ වෙතත්, යානය කඩා වැටී ඇති බවට මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර, අදාළ ප්‍රදේශයේ පවතින දුෂ්කර භූමි ලක්ෂණ මධ්‍යයේ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.
ඉන්දීය ගුවන් හමුදාව සහ භූමිය පරීක්ෂා කරන විශේෂ කණ්ඩායම් එක්ව අතුරුදන් වූ යානය පතිත වූ ස්ථානය හඳුනා ගැනීමට මේ වන විට දැඩි වෙහෙසක් දරනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
