ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද එම වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමෙන් පසු එහි පුරා විද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් එම කෞතුකාගාරය නිර්මාණය කර තිබෙනවා.

ඇහැලේපොළ වලව්ව අයත් කන්ද උඩරට රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍රවාරිත්‍ර සහ කලා ශිල්ප ඉටි ආශ්‍ර‍යෙන් ප්‍රති නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම, ඉතිහාසයේ සුවිශේෂී චරිත 35 කට අදාළ ජීවමාන ඉටි රූප ද මෙහි දැකගත හැකියි.

පාරම්පරික කර්මාන්ත පිළිබඳ ප්‍රදර්ශන කුටි සහ ඉපැරණි භෝජනාගාරයකින්ද කෞතුකාගාරය සමන්විතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය සහ අභිමානය විදහා දැක්වෙන අයුරින් නිම කර ඇති මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.