ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට දින දෙයි

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වලට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි මාර්තු මස 25 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ  කැඳවනු ලැබුවා.

අදාල අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.

එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව පෞද්ගලික සමාගම් සමග ඇති කරගත්  ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා තීරණය කර ඇති බව සඳහන් කළා. 

ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී පෙත්සම්කරුවකු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා යලි කරුණු සලකා බලන බව සඳහන් කළත් ඒවායේ නීත්‍යානුකූල භාවය පිළිබඳ තීන්දුවක් ගත හැක්කේ අධිකරණයට පමණක් බව සඳහන් කළා.

මෙම ක්‍රියාවලිය හරහා රටට විශාල ආර්ථික පාඩුවක් සිදු වී ඇති බවත් එබැවින් මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවට තීන්දුවක් තමන් අධිකරණය වෙතින් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. 

තවත් පෙත්සන්කරුවකු වන නීතීඥ රවුෆ් හකීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීම ආරම්භ කෙරුණු 2024 වසරේ අප්‍රේල් මාසයේ සිට එම ක්‍රියාවලිය නැවැත්වීම සඳහා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගය නිකුත් කළ කාලසීමාව තුළ  රටට අති විශාල පාඩුවක් සිදුවූ බව පැවසුවා.

අදාල ගිවිසුම් යළි සලකා බැලීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් කරුණු අධ්‍යයනය කරමින් සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රකාශ කලත්  මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ටෙන්ඩර් යළි පිරිනමන්නේ නම් එය සිදු කළයුත්තේ විවෘත ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව බවත් රවුෆ් හකීම් මහතා සඳහන් කළා.

එසේ නොකළහොත් පෙර සිදු වූ වරද යළි සිදුවීමට හැකියාව තිබෙන ඔහු පෙන්වා දුන්නා.

එම නිසා මෙම පෙත්සම් විභාගයට ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙත්සම්කාර පාර්ශවයට පෙන්වා දුන්නේ අදාල ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පරීක්ෂා කර නිගමන ලබා ගැනීම සඳහා වග උත්තර කරුවන්ට කාලය ලබාදීම සුදුසු බවයි. 

ඉන් පසුව මෙම පෙත්සම් විභාගයට ගන්නා බවත් ඔහු දැනුම් දුන්නා.

ඒ අනුව මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පෙත්සම් යළි මාර්තු මස 25 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.