ඉරානයේ අන්තර්ජාලය අත්හිටුවා අදට දින 26ක්

ඉරාන බලධාරින් විසින් එරටට පනවා ඇති අන්තර්ජාල තහනම අද වනවිට අඛණ්ඩව 26 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

නෙට්බ්ලොක්ස් නිරීක්ෂණ කණ්ඩායම වාර්තා කරන පරිදි මෙම අන්තර්ජාල විසන්ධි කිරීම මේ වනවිට පැය 600 ක සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම පියවර හේතුවෙන් ඉරාන සිවිල් වැසියන් ජාත්‍යන්තර සබඳතාවලින් හුදකලාවී සිටිනවා.

යුදමය වාතාවරණයක් පවතින මෙවැනි අවස්ථාවක මහජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය මෙලෙස බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බවයි නෙට්බ්ලොක්ස් කණ්ඩායම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉරානයේ දකුණු දිග ටෙහෙරානයට එල්ල වු අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් අදත් 12 දෙනෙකු මියගියා.

තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති අවස්ථාවකයි.

තවද ඉරානය හා හිස්බුල්ලා සංවිධානය එක්ව ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මධ්‍යම ඊශ්‍රායලයේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.