අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඉරානය පවසනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි මේ බව කියා සිටියේ, න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව පැවති දෙවැනි වටයේ සාකච්ඡාවලින් අනතුරුවයි.
සාකච්ඡා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ඊයේ පැවැත්වුණා. ඊට අමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා වන ජරෙඩ් කුෂ්නර් එක්ව සිටියා.
මාස අටක විරාමයකින් පසු මෙම සාකච්ඡා වටය පැවති අතර, ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ සාකච්ඡා ඵලදායී වූ බවයි.
එහිදී මාර්ගෝපදේශ මූලධර්ම පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීමට හැකි වූ බවත්, ඒ මත පදනම්ව ගිවිසුමකට එළඹෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
මීළඟ සාකච්ඡා වටය සඳහා තවමත් දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
දෙපාර්ශ්වය අතර තවදුරටත් ඇතැම් දුරස්ථ භාවයන් ඇති බවත්, එය පහවීමට කාලය ගතවන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා කියා සිටියා.
සාකච්ඡාවලට පෙර, ඉරානයට මිලිටරි පීඩනය වැඩි කරමින් දෙවැනි ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැද පෙරදිගට යවන බව අමෙරිකාව කියා සිටියා.
ඉරාන හමුදාව ඊයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ යුධ අභ්‍යාසයක් ආරම්භ කළා.
මේ නිසා කලාපයේ නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින අතර, ප්‍රධාන සමුද්‍ර මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවද ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
