ඉරාන රජයට එරෙහිව දහස් ගණන් පාරට

ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වී තිබෙනවා.

අගනුවර සහ අනෙකුත් ප්‍රදේශ රැසකම මෙම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර ගණනාවකට පසු එරට රජයට විරුද්ධව පැවැත්වෙන විශාලතම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වන විට ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ් නගරයටත් විරෝධතා පැතිර ගොස් තිබෙනවා.

ඇතැම් නගරවල සාමකාමී විරෝධතා පැවැත්වුනත් ඇතැම් නගරවල පොලීසිය සහ විරෝධතා කරුවන් අතර විශාල ගැටුම් හටගෙන ඇති අතර බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා අන්තර්ජාලය අවහිර වී ඇති බවයි ඇතැම් මාධ්‍ය පවසන්නේ.

ඉරාන මුදල් ඒකකය බිඳවැටීම සම්බන්ධයෙන් කෝපයෙන් ඇවිලුණු නොසන්සුන්තාවයේ අඛණ්ඩ 12 වන දිනය මෙය වන අතර එය ඉරානයේ පළාත් 31 පුරාම නගර සහ නගර 100කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති බවයි මානව හිමිකම් කණ්ඩායම් කියා සිටින්නේ.

දෙපාර්ශ්වය අතර ගැටුම්වලදී අවම වශයෙන් විරෝධතාකරුවන් 34 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් අට දෙනෙකු මිය ගොස් ඇති බවත්, තවත් විරෝධතාකරුවන් 2,270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මානව හිමිකම් සංවිධානයක් කියා සිටිනවා.

නමුත් ඇතැම් ආයතන කියා සිටින්නේ ආරක්ෂක හමුදා විසින් අවම වශයෙන් විරෝධතාකරුවන් 45 දෙනෙකු ඝාතනය කර ඇති බවයි. මියගිය පුද්ගල සංඛ්‍යාව 8 ක් බවයි ඉරාන බලධාරීන් කියා සිටින්නේ.