
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට ඊගා ස්වියාටෙක් සමත් වූවාය.
අමෙරිකාවේ ඇමන්ඩා අනිසිමෝවාට එරෙහිව පැවති අවසන් තරගය වට 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වූ ඊගා පෝලන්ත ක්‍රීඩිකාවක වන අතර, පෝලන්තයට විම්බල්ඩන් කාන්තා ශූරතාවක් ගෙන දුන් පළමු ක්‍රීඩිකාව ලෙස ද ඇය ඉතිහාසයට එක් වූවාය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයේ පසුවන ඊගා හමුවේ 13 වැනි ස්ථානයේ සිටින ඇමන්ඩා පරාජය වූයේ 6-0ක් සහ 6-0ක් ලෙසිනි. මෙලෙස විම්බල්ඩන් අවසන් තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු ලකුණක් ලබා නොදෙමින් තරගයක් නිමා වූයේ වසර 114කට පසුව වීම ද මේ තරගයේ විශේෂත්වයක් විය. අවසන් වරට 1911දී මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා වී තිබිණි.
මෙය 24 හැවිරිදි ඊගා දිනාගත් 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර, ඇය මින් පෙර ප්‍රංශ ශූරතාව සිවුවරක් සහ අමෙරිකානු ශූරතාවක් දිනා තිබේ.
තරගාවලියේ අවසන් පූර්ව වටයේදී බෙලින්ඩා බෙනික් වට 2-0කින් පරාජය කිරීමට ඊගා සමත් වූ අතර, ඇමන්ඩා හමුවේ ලොව අංක එකේ ක්‍රීඩිකා අර්යානා සබලෙන්කා වට 2-1ක් ලෙස පරාජයවීම කැපීපෙනිණි. ඇමන්ඩා ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
මේ අතර තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ අවසන් තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණේ ඉතාලියේ ජැනික් සිනර් සහ ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් අතරය.