ඊශ්‍රායලය සහ ඉරානය අතර දරුණු ගැටුම් – ලෝක තෙල් මිලත් ඉහළට

ඊශ්‍රායලය සහ ඉරානය අතර දරුණු යුද ගැටුමක් ඇවිලීමත් සමග ලෝක තෙල් මිල අද දිනයේ සියයට 8.9 ක වැඩිවීමක් පෙන්නුම් කළා. ඉරානයට තවදුරටත් ඊශ්‍රායල ප්‍රහාර එල්ල විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

මේ අතර, ඉරානය පවසන්නේ, ඊශ්‍රායලයෙන් දරුණු ලෙස පළිගන්නා බවයි. ඊශ්‍රායලය ඊයේ සිදු කළ ප්‍රහාරයකින් ඉරානයේ ප්‍රබල ජනරජ බලකාය නැමති හමුදා කණ්ඩායමේ ප්‍රධානියා වන ජනරාල් හුසේන් සලාමි ඇතුළු ඉහළ පෙළෙ හමුදා නිලධාරීන් පිරිසක් මියගොස් තිබෙනවා. අනතුරුව ඉරානය ඩ්‍රෝන යානා 100 කට වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් ඊශ්‍රායලයට පහර දුන්නා.

එම ඩ්‍රෝන බොහොමයක් විනාශ කළ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ. ඊශ්‍රායලය එල්ල කළ දෙවැනි වටයේ ප්‍රහාර මාලාවෙන් ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් 6 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය හා රේඩාර් සැලකිය යුතු ලෙස විනාශ කළ බව ඊශ්‍රායලය පවසනවා. ඉන් අදහස් වන්නේ, ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දීමට සූදානම් බවයැයි යුද විශේෂඥයන් පෙන්වා දෙනවා.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැනුම් දෙන්නේ, තමා ඉදිරිපත් කර ඇති න්‍යෂ්ටික අවිහරණ යෝජනාවට එකඟ වන ලෙසයි. එසේ නොවන්නේ නම් දිගටම ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබෙන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.