ඊශ්‍රායල් – හමාස් සාම සාකච්ඡා අද ඊජිප්තුවේ කයිරෝ නුවරදී

ගාසා සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සාම සාකච්ඡා ඊජිප්තුවේ කයිරෝ නුවරදි අද පැවැත්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් ගාසා සටන් විරාම සැලැසුම මත පදනම්ව මෙම සාම ගිවිසුමට එහිදි අත්සන් තැබෙන බවයි.

හමාස් සංවිධාන නියෝජිතයින් මේ වනවිට ඊජිප්තුවට පැමිණ ඇති අතර, අමෙරිකානු, ඊශ්‍රායල හා මැදපෙරදිග රටවල නියෝජිතයින් අද පැමිණීමට නියමිතයි.

කරුණු 20කට අදාළව ගාසා තීරයේ බලය අත්හැරීම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් එම සංවිධානයට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටිනවා.

එම ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා හමාස් සංවිධානයේ ප්‍රමාදය නොඉවසන බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සහයන්ට සහය දක්වන සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඉදිරියට යන ලෙසයි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හා ගාසා පාලනය ඇතුළු කරුණු 20 ක් ඇතුළත් අමෙරිකානු සාම යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාවය පළකළ පසු මෙම සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ යටතේ හමාස් සංවිධානය භාරයේ සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත්, යම් ප්‍රාණ ඇපකරුවෙකු මියගොස් ඇත්නම් එම සිරුරු භාරදීම යන කරුණු අදාළ යෝජනාවලියට ඇතුළත්.

අදාළ කරුණු සිදුනොවුවහොත් හමාස් සංවිධානය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට වෙත පූර්ණ සහය ලබාදෙන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.

මෙම සාම ප්‍රයත්නය ලෝක නායකයින් රැසකගේ ද පැසසුමට ලක්ව ඇති අතර, සාකච්ඡා අතරවාරයේදි ගාසා තීරයට බෝම්බ හෙලීම තාවකාලිකව නතර කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.