
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව හා ආරක්ෂිත මෙන්ම ගුණාත්මක පොදු මඟී ප්‍රවාහන සේවාවක් උදෙසා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරීන් එක්ව ක්‍රියාත්මක කරනු ලබන ජාතකි වැඩසටහනක් ලෙස මඟී ජනතාවට තමන් ගමන් ගන්නා බස් රථයක යම් අඩුපාඩුවක් හෝ ගැටළුවක් ඇත්නම් ක්ෂණිකව දුකරථන ඇමතුමකින් හෝ වට්ස්ඇප් හරහා තොරතුරු ලබා දීමෙන් තම ගැටළු විසඳා ගැනීමට හැකි පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරීන් විසින් හඳුන්වා දී ඇත.
ඒ අනුව උතුරු මැද පළාත තුළ බස් රථයක යම් මඟියෙකු ගමන් කිරීමේ දී හදිසි අවස්ථාවක දී හෝ ගැටළුවක දී ක්ෂණිකව තම ගැටළුව ඡායා රූප, ඩොකියුමන්ට් ආදී ඕනෑම මාදිලියකින් තමාට කැමති අයුරින් මෙම දුරකථන අංකය වෙත යොමු කිරීමට හැකිය.
070 1 315 315 දුරකථන අංකය හරහා දුරකථන ඇමතුමක්, එස්.එම්.එස් මාර්ගයෙන්, කිව් ආර් (Scan QR Code) කේතය ස්කෑන් කිරීමෙන් හෝ වෙබ් අඩවිය හරහා ආදී ඕනෑම ආකාරයකින් තම ගැටළු ක්ෂණිකව ඉදිරිපත් කළ හැකිවේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ ස්ටිකරයක් පළාතේ ධාවනය වන සෑම බස් රථයකම ඇලවීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය යටතේ ධාවනය වන බස් රථ වල මෙම ස්ටිකරය අලවා ඇති බස් රථ පරීක්ෂා කිරීම හා එය අලවා නොමැති බස් රථ වල දැනුවත් කිරීමේ ස්ටිකර ඇලවීමේ වැඩසටහනක් අද (16) උදෑසන සිට දවස පුරා අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාගේ සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ සඳහා ප්‍රවාහන සේවා අධිකාරියේ බස් නැවතුම්පළ නිළධාරීන් හා ජංගම පරීක්ෂක කණ්ඩායම ඇතුලු පිරිස යොදවා බස් රථ පරීක්ෂාව සිදු කරන ලද අතර නව දුරකථන අංකය පිළිබඳ දැනුවත් කිරීමේ ස්ටිකරය ඇලවීමද සිදුවිය.
මෙමඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින ධාවන ගැටළු, මඟී ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා කඩිනමින් ප්‍රතිචාර හා පිළිතුරු දැක්වීමට අපේක්ෂා කරන බව මෙහිදී මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා පැවසීය.